Thursday, September 19, 2013


සීගිරිය නගින්න අලුත් හිනිපෙළක්
11th August 2011 - Lankadeepa
 
ලොව පුරා බොහෝ ජනතාව දැඩි විස්මයකින් යුතුව නරඹන අප රටේ වැදගත් ස්ථාන අතරින් සීගිරියට හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයකි. ඒ නිසාම අද බොහෝ දෙනා ලොව අටවැනි පුදුමය ලෙස සීගිරිය හඳුන්වති. පාසල් අවධියේ සිටම අප රටේ ජනතාවද සීගිරිය නැරඹීමට දැඩි කැමැත්තක් දක්වති. ඒ අප රටේ අතීතයේ සිටි මිනිසුන් තුළ විස්මිත ක‍්‍රියාකාරකම් තව තවත් නැරඹීමට ඇති වුවමනාව නිසා යැයි අපි සිතමු.
එදා සීගිරි නැගීමට නොහැකි බොහෝ දෙනා සිංහපාදය අසලට පමණක් නගිති. ඔවුහූ සීගිරි මාලිගාව පිහිටි ස්ථානයට නොයති. ඒ කැඞීගිය දිරාගිය පඩිපෙළ නිසාත් අනාරක්ෂිත නිසාත් යැයි බොහෝ අය කීහ. එහෙත් ඔබ මෑත කාලයේ සීගිරි නැරඹීමට නොගියේ නම් දැන් සීගිරි ගල මුදුනටම ඉතා පහසුුවෙන් නැගීමට හැකි පරිදි මේ සියලූ පඩිපෙළ සංවර්ධනය කර හමාරය.
සිංහපාදයේ සිට ඉහළට නැගීමට එක් පැත්තකින් ද පහළට බැසීමට තවත් පැත්තක් ද ආවරණ මේ වන විට ඉදිකොට ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමත් සමගින් එසේ කැර ඇත.
පතල් හා කැනීම් කාර්යන්ශයේ දේශීය ශිල්ප ඥාණය මෙන්ම ඉංජිනේරුවන් සමග එක්ව අතීතයේ හෙළවිරුවෝ කළ ක‍්‍රියාකාරකම් වලට අනුව මෙය ඉතා ශක්තිමත්ව මේවා ඉදිකරනු ලැබූ බව කියැවේ.
සිංහපාදය අසලට ගිය විට පෙරදා තිබූ බිය පහව ගොස් සුදු යකඩ අත්වැල් දිගේ නගින්නට ඕනෑම අයකුට සිත්දෙන ආකාරයට එය නිර්මාණය කර ඇත. වසර හතක කාලයක් තිස්සේම පතල් හා කැණීම් කාර්යංශයේ නිලධාරීන් හා සේවකයන් සීගිරි පව්වට පැමිණ මෙම නිර්මාණය කර ඇත. එය සීගිරි ඉතිහාසයේ නව පිටුවක් ලියැවෙන අති සුවිශාල වූ නිර්මාණයකි.
ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරි එම්.ඒ.පී. මංචනායක, බී.පී. සිරිසේන යන මහත්වරුන්ගේ කැපවීම මත සීගිරි පඩිපෙළ ඉදිකිරීම සිදුවිණි. භූවිද්‍යාඥ උදය සිල්වා මහතා නිරන්තර සීගිරියට පැමිණ ආදි ශිල්පීන් සීගිරිය නිර්මාණය කරද්දී සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන දේශීය ක‍්‍රමෝපායන් උපයෝගී කරගනිමින් ගිරි කුහර කරමින් ගිරට යකඩ සවිකළහ.
සීගිරිය නිර්මාණය කළේ මෙසේයැයි අපට ලිඛිත සාධක නැතත් අප විශ්වාස අනුව හා පිහිටීම අනුව මේ ආකාරයෙන් මාළිගා හා විවිධ ඉදිකිරීම් තිබෙන්නට ඇතැයි යන නිගමනය මත අප තක්සේරුවකට පැමිණ සිටිමු.
ශිරාන් දැරණියගල මහතා මීට වසර ගණනාවකට පෙර දැනුම්දී තිබුණේ සීගිරියේ චිත‍්‍ර ලෙනේ අවදානම් ගල් කැබලි ශක්තිමත් කිරීම ඇතැම් පූර්ණ පරීක්ෂණයකින් පසු කාර්යන් රැුසක් කළ යුතු බවයි. ඒ අනුව භූ විද්‍යා පතල් කැණීම් කාර්යංශය පූර්ණ ගවේශණයක් කරන ලදි. එහිදී කළයුතු හදිසි කාර්යන් 12 ක් හඳුනා ගෙන තිබිණි.
චිත‍්‍ර ගුහාවේ පාදම තවදුරටත් පළල් කැර සංචාරකයන්ට නැරඹීමට නොහැකිව තිබූ චිත‍්‍ර රැුසක් දැකගැනීමේ අවස්ථාව සලසාදීම, චිත‍්‍ර ගුහාවට පිවිසෙන දැල් ආවරණ සහිත ආරක්ෂිත පියගැට පෙළ අලූත්වැඩියා කිරීම, කැටපත් පවුරේ පිටත බිත්තිය ඉරිතලා තිබීම, එය ශක්තිමත් කිරීම, මෙන්ම සීගිරි ගලේ දිරාගිය ගල් කැබලි රැුසක් පහළට කඩා වැටීමේ අවදානමක් පැවතිණි. එම ස්ථානවලට ළඟාවීම පවා දැඩි අවදානම් තත්ත්වයක පැවතියේය. ජල කාන්දු වැළැක්වීම ඇතුළු කරුණු රැුසක් පිළිබඳව අවධානය යොමුකැර අද වන විට මේ සියල්ල වැඩ නිමවා දෙස් විදෙස් සංචාරකයන්ට ඉතා පහසුවෙන් සීගිරිය නැරඹීමට හැකිවන පරිදි සකසාදී ඇත.
අපගේ ඉංජිනේරු ශිල්පීන් මේ කාලයේ කළ ක‍්‍රියාකාරකම් පිළිබඳව සොයාබැලීම සඳහා පසුගියදා පරිසර ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ද පැමිණ දැඩි ප‍්‍රසාදය පළකර සිටියේය.
සීගිරි ගලේ ගමන් කිරීමට නොහැකි බෑවුම් ස්ථානවල සිට වැඩ කළ වත්මන් ශිල්පීන් ටයර් හා ලනු උපයෝගී කරගෙන තනි කකුලෙන් එල්ලී ජීවිත අවදානම නොතකා මෙම කාර්යය ඉටුකැර තිබීම විශේෂත්වයකි. මේ කැපවීම මත අලූත් වූ සීගිරිය නැරඹීමට දෙස් විදෙස් ජනතාවට පහසුව හිමි වී ඇත.මෙම අලූත්වැඩියා කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලත් ජපන් රජයත් මූල්‍ය දායකත්වය ලබාදී තිබිණි.
එදා පස්වැනි සියවසේදී කාශ්‍යප රජු විසින් කරවන ලද බව කියන සීගිරියේ වත්මන් පියගැට පෙළේ පැවැත්ම තවත් වසර 400 ක් වත් පවතින බව භූවිද්‍යා පතල් කාර්යංශය කියයි.
සීගිරියේ වත්මන් තත්ත්වය පිළිබඳව අප මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු වජිර පර්ඩිනැන්ඩන් මහතාගෙන් විමසීමක් කළේ බොහෝ ජනතාව සීගිරිය ගැන දැඩි අවධානයෙන් සිටින නිසාය.
ඒ මහතා අප සමග මෙසේ වත්මන් තත්ත්වය හා ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු ප‍්‍රථම වතාවට හෙළි කළේය.
අපි තවදුරටත් දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරියේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. අනවසර වෙළෙඳාම් කිරීම විධිමත් කිරීමත්, සීගිරියේ පිටත දැනට පොලිසිය පිහිටි ස්ථානයෙත් මොරගහමුල ප‍්‍රදේශයෙත් නව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමටත් කටයුතු කරනවා. මාර්ගෝපදේශක කණ්ඩායම පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අයටත් විධිමත් පුහුණුවක් ලබා දී සංචාරකයනට නිවැරදි තොරතුරු දෙන්නටත් අලූතින් ඇතුළුවීමේ ප‍්‍රවේශ පත‍්‍රයක් නිකුත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.
රථගාලේ සිට කිලෝමීටරයක් දුර පයින් ගමන් කිරීමට තිබෙනවා. ඒ අයගේ කාලය ඉතිරිකැර දීම සඳහා විශේෂ බස්රථ සේවයක් ක‍්‍රියාත්මක කිරීමත්, විශේෂ විදුලි ආලෝක පද්ධතියක් ආරම්භකිරීමත්, පානීය ජල ටැංකි කීපයක් සීගිරි නගින බහින අයට පාවිච්චි කිරීමට ස්ථාපිත කරනවා. පොලිතින් නැති කලාපයක් බවට මේ පෙදෙස පත් කරනවා.
එදා සීගිරිය නිර්මාණය කිරීමේදී කාශ්‍යප රජු කළ ක‍්‍රියාදාම පිළිබඳවත් ශ‍්‍රම බළකාය යොදාගත් ආකාරයත් මෙහි ඇති වටිනාකම පිළිබඳවත් තැනින් තැන හමුවී ඇති රාජ සභා, මණ්ඩප, ජල උද්‍යාන, ගල් ආරුක්කු, උගුල් මෙන්ම විවිධාකාර වූ ස්ථාන පිළිබඳව නම්වලින් හඳුන්වා තිබුණ ද එම ස්ථානවල සවිස්තරාත්මක දැන්වීම් පුවරු පළකිරීමට හැකියාවක් ඇත්නම් එය දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවනු ඇතැයි මෙම අලූත් වූ සීගිරිය නැරඹීමට ගිය අපට පසක්විය.
සීගිරි කාශ්‍යප රජු වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය ආයතන ගණනාවක දහස් ගණනක ජනතාවක්් පෝෂණය කරති. එහෙත් කාශ්‍යප රජුගේ ප‍්‍රතිමාවක් හෝ කාශ්‍යප රජුට කළගුණ සැලකීමටත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. සීගිරියේ පමණක් හෝටල් කාමර 3000 ක් නඩත්තු වන්නේ ද කාශ්‍යප රජුට පිංසිදුවන්නටය. මෙම කරුණු ගැඹුරින් අවබෝධ කැරගෙන කාශ්‍යප රජු පිළිබඳව ජනතාවට ගෞරවයක් හිමිවන පරිදි යමක් සීගිිරියේ කළ යුතුයැයි අපි විශ්වාස කරමු.
අද නවීන තාක්ෂණයෙන් කළ දේ එදා කළේ ගණිත ක‍්‍රම උපකාරයෙන්
එදා රජදරුවන් සීගිරි පර්වත මස්තකයට ජලය ගෙනගිය ශිල්පීය ඥාණය කුමක්ද? මහා කළුගලක් උද්‍යානයක් බවට පත්කළ ශිල්පය කුමක්ද? අපි ඒ පිළිබඳව වාස්තු විද්‍යාඥ වජිර පර්ඩිනන්ඩස් මහතාගෙන් විමසීමක් කළෙමු.අප මුලින්ම විමසීමක් කළේ සීගිරියේ ජල උද්‍යානයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳවත් අදටත් එය රහසක්ව පවතින්නේ කෙසේද යන්නයි.මෙම ජල මල්වල ක‍්‍රියාකාරීත්වය එදා සිටම අද දක්වා පවතිනවා. හැබැයි තවමත් මේ ගැන නිසි පරීක්ෂණ කර නැහැ. ජලය ගෙනයන මාර්ගය සීගිරි අවට ඇති වැව්වලට සම්බන්ධ කර ඇතැයි විශ්වාසයක් පවතිනවා. හැබැයි තවම නිශ්චිත වශයෙන් ඒ ගැන අලූත් මත ඉදිරිපත් කිරීමට බැහැ.පෙරදා සීගිරිය ඉදිකිරීම්වලදී හා අද ඉදිකිරීම් පිළිබඳව ඇති තාක්ෂණික ක‍්‍රමවේද පිළිබඳව ද අපි විමසුවෙමු.අද නවීන තාක්ෂණ උපකරණ භාවිතයෙන් කරන දේ එදා සිටි අපේ ඉහළ දැනුමක් ඇති ශිල්පීන් ගණිත මූලධර්ම මත කරලා තිබෙනවා. ඒ වගේම තමයි එදා පිරිස් බලය අඩුවෙන් සිටියදී කළ විශ්කම් දෑ අද පිරිස් බලය වැඩියෙන් සිටියත් කරන්න බැරිවෙලා තියෙනවා. ඊට හේතුව තමයි අපේ පැරැුණියන්ගේ සිට වර්තමානය දක්වාම උගත් දෑ බෙදාහැරීමේදී කැර තිබෙන ගුරුමුෂ්ටිය කියන එක රැුකගැනීමට ගත් උත්සාහය නිසයි. දක්ෂ ශිල්පීය ක‍්‍රම සැඟවීම නිසා අද අප අසරණවෙලා ඉන්නවා. නව නිර්මාණ අඩුයි. අපේ තවත් වැරැුද්දක් තමයි මම දන්න තරමට අපි භෞතිකවාදීවයි ක‍්‍රියාකරලා තියෙන්නේ ඉන් ඔබ්බට යන්නේ නැහැ. අපි සංරක්ෂණය කළ යුත්තේ ස්පර්ශ කළ නොහැකි හැඟීම් සිතුම් පැතුම් හා ක‍්‍රියාකාරකම් මොකද අපි සොයාගන්නා භාණ්ඩ ආරක්ෂාකර තබනවා විනා එම භාණ්ඩවලින් කළ ක‍්‍රියාකාරකම් කුමක් ද ඒවා කුමකට භාජන කළේ ද යන්න සොයන්නේ නැහැ. ඔහු කියයි.
 

වද වී යන හීලෑ අලි - ඇත් පරපුර


වද වී යන හීලෑ අලි - ඇත් පරපුර

11th August 2011 - Lankadeepa

හෙළ සංස්කෘතිය පුරාවටම සඳහන් වන හීලෑ අලි ඇතුන් එය ආරක්ෂා කරන දැවැන්ත පවුරක් හෝ ආවරණයක් ලෙස සැලකිය හැකිය. ප‍්‍රතාපවත් බවේ මෙන්ම විශාලත්වයේ සංකේතයක් ලෙස සැලකෙන අලියා හෙළ සංස්කෘතියේ වඩාත්ම කතාබහට ලක්වන සත්වයාය. එතරම්ම අලි ඇතුන් අප සංස්කෘතියට මහා ශක්තියක් වී ඇති බව පිළිගැනීමට සිදුවේ.

අතීතයේදී වරින්වර වනයෙන් අල්ලාගත් අලින්ගෙන් හා පින්නවල අලි අනාථාගාරයෙන් ශ්‍රී දළඳා මාළිගාව ඇතුළු විහාර දේවාල සඳහා ලබාදුන් අලි ඇතුන්ගෙන් හීලෑ අලි පරපුර වර්ධනය විය. එහෙත් මෑත කාලයේදී සැලකිය යුතු අලි සංඛ්‍යාවක් හීලෑ අලි පරපුරට අලූතෙන් ඇතුළත් නොවීමත්, වයෝවෘද්ධව සිටි අලි සංඛ්‍යාව බෙහෙවින් අඩුවී ඇත. මේ වන විට අප රටේ ඉතිරිව සිටින හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව සියයකට (100* ආසන්න වන අතර එයින් විසිදෙනකු (20* පමණ වාර්ෂිකව වෙසක් පොසොන් හා ඇසළ මාසවල මදකිපී ගාල් කිරීමට සිදුවේ. ඉතිරි අලි අසූ දෙනාගෙන් (80* දසදෙනෙක් (10* පමණ වයෝවෘද්ධව ඉතාම දුර්වල තත්ත්වයෙන් පසුවේ. දිවයිනේ සිටින හීලෑ අලි ඇතුන් සියදෙනා අතර දළ ඇතුන් සිටින්නේ විසි දෙදෙනකු (22* පමණි. එයින් කරඬුව වැඩම කරවීම සඳහා සුදුසු වූ ගති ලක්ෂණ වලින් මෙන්ම සුුදුසු සෞඛ්‍ය තත්ත්වයෙන් යුක්ත පරිනත දළ ඇතුන් වශයෙන් තෝරාගත හැක්කේ මහා කතරගම දේවාලයේ වාසනා, නැදුන්ගමුවේ රාජා සහ ඉන්දිරාජා යන සතුන් පමණි. මෙම තත්ත්වය නිසා එදා අලි ඇතුන් දෙසීයකට (200* ආසන්න සංඛ්‍යාවක් ගමන් කළ මහනුවර ඇසළ පෙරහරට පවා සහභාගි කරවා ගැනීමට හැකි තත්ත්වයේ අලි ඇතුන් සිටින්නේ හැත්තෑ (70* දෙනකු පමණි.

විශේෂයෙන් මහනුවර ඇසළ පෙරහරේ සහ අනෙකුත් පෙරහරවල කරඬුව හා දේවාභරණ වැඩම කරවීම ඉතාම භාරර වගකීමකි. මේ සඳහා යොදා ගනු ලබන දළ ඇතුන් තුළ ඉතා හොඳ ගතිලක්ෂණ තිබිය යුතුය. ඉතා හොඳින් වැඩුණු සිරුරක් ඇති, සෘජුව මෙන්ම තේජවන්තව හිස (ඉහකර ඔසවා සිටින, පිටකොන්ද (ආසනයහොඳින් පිහිටා ඇති දළ යුගලය අලංකාර ලෙස ඉදිරියට නෙරා ඇති, තැන්පත් නුවණින් යුතු, උපශාන්ත ගමන් විලාසයක් සහිත සන්සුන් මනසකින් යුතු තීක්ෂණ බුද්ධියෙන් කරුණා ගුණයෙන් පරිපූර්ණ වූ මැදි වයසේ තැන්පත් ඇතුන් මේ සඳහා ඉතාම සුදුසුය.

මෙවන් තැන්පත් ගතිලක්ෂණවලින් හෙබි දළ ඇතුන්ගේ හිඟය නිසා වර්තමානයේ මේ සඳහා තරුණ අලි ඇතුන් යොදා ගත්තද අතීතයේ මේ සඳහා යොදාගනු ලැබුවේ වයස අවුරුදු හතළිහ (40* ඉක්මවූ සතුන්ය. එහෙත් දළ ඇතකු තරුණ වියේදීම මේ සඳහා පුහුණු කරවනු ලබයි. මෙසේ පුහුණු කරනු ලබන්නේ පැරණි චාරිත‍්‍රවාරිත‍්‍රවලට අනුකූලව වන අතර එය කරනු ලබන්නේ පෙරහර පවත්වන දිනක නොවේ. ප‍්‍රථමයෙන්ම අදාළ විහාරය හෝ දේවාලය ඉදිරියට ඇතා රැුගෙන විත් දණ නමස්කාරය කරවා මහා සංඝරත්නය විසින් සෙත්පිරිත් දේශනය කර පැන් ඉසින විට රන්සිවිගෙය සවිකරනු ලබන වකපුටුව නමැති කොටස ශුභ නැකතට ඇතාගේ පිට මත තැන්පත් කෙරේ.

ඉන්පසුව එයට අදාළ බඳපටි ආදිය තද කොට වකපුටුව මත රන්සිවිගෙය සවිකරනු ලැබේ. ඒ සමගම ඇඳුම් ආයිත්තම්ද පළඳවා මද දුරක් ඇවිද්දවා පුහුණුව ලබාදේ. පුහුණු කරන ලද මංගල හස්තියකු පිටේ රන්සිවිගෙය බැඳ අලංකාර වූ ඇඳුම් අන්දවා දළ කොපු පළඳවා විදුලි බුබුළුවලින් සරසා, දෙකන්වල චාමර සවිකර මුල්වරට කරඬුව තැන්පත් කරන්නේද ශුභ නැකතකටය. එසේ පාවඩ මත පෙරහරේ ගමන් කරන ඇතාට ගෙවදුනාට පසුව කැවුම් හා කිරිබත්වලින් සංග‍්‍රහ කරනු ලැබේ.

මෙම ඇතුන්ගේ වස්දොස් දුරුවීම සඳහා ශ්‍රී දළඳා මාලිගාව ප‍්‍රධාන කොට ඇති පැරණි විහාර දේවාලවල සෙත්පිරිත් දේශනා කිරීම, පිරිත් පැන් ඉසීම මෙන්ම දේවපූජා ආදිය පැවැත්වෙයි. සබරගමුව මහා සමන් දේවාලයේ දේවාභරණ වැඩම කරවන ඇතා ගෙවදුනාට පසුව විශාල කැවුම්වලින් ඇතාගේ පාද තවා සමන් දෙවියන් උදෙසා, විශේෂ පූජා පවත්වා ඇතාගේ නිරෝගි බව ප‍්‍රාර්ථනය කෙරේ. එමෙන්ම අලූත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලයේද ප‍්‍රථමවරට දේවාභරණ වැඩම කරවන ඇතුන්ගේ වස්දොස් දුරුවීමට රැුයක් පහන් වනතුරු ශාන්තිකර්මයක් කර දෙහි ආදිය කපනු ලැබේ. කරඬුව හා දේවාභරණ වැඩම කරවීමට කැප කරන ඇතකු පිට කිසිම දිනක කාන්තාවක් නංවන්නේ හෝ අවමංගල කටයුතු කරන ස්ථාන ආසන්නයට රැුගෙන යන්නේ හෝ නැත.

මහනුවර ඇසළ පෙරහරේ දළදා කරඬුව වැඩම කරවීම ඇතකු ලබන උතුම්ම අවස්ථාවයි. මෙම කටයුත්ත සඳහා යොදා ගන්නා දළ ඇතුන්හට නිරෝගි සුවය හා ආරක්ෂාව පතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය විසින් සෙත්පිරිත් දේශනා කර දියවඩන නිලමේතුමන්ද සමග කැවුම් කිරිබතින් සංග‍්‍රහ කර ආශිර්වාද කරනු ලැබීම සිරිතකි. දැනට වසර විසිපහකට පමණ පෙරදී මහනුවර ඇසළ පෙරහරේ කරඬුව හා දේවාභරණ වැඩම කරවීමට මෙන්ම පෙරහරේ අනෙකුත් ස්ථානවල ගමන් කරවීමට අවශ්‍ය තරම් හීලෑ අලි ඇතුන් සිටි බැවින් එකල පෙරහරේදී අලි ඇතුන් සිය ගණනින් දැකගත හැකි විය. එහෙත් වර්තමානයේ මහනුවර පෙරහරට අලි ඇතුන් හැත්තෑවක් ‍ ගෙන්වා ගැනීමත් විශාල අභියෝගයක් වී තිබේ.

හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව වර්ධනය නොවීමත් දැනට සිටින වයෝවෘද්ධ සතුන් දිනෙන් දින මිය යාමත් පෙරහර සංස්කෘතිය පවත්වාගෙන යාමට විශාල ගැටලූවක් වී තිබේ.

පසුගිය වර්ෂ දෙකතුළදී පමණක් ගංගාරාමයේ නවම් රාජා, බෙල්ලන්විල අලියා, පස්ගම විහාරයේ අලියා, ගඟහගෙදර ඇතින්නි, දෙහිදෙනියේ ඇතින්නි, අරංගල්ල මහතාගේ ඇතින්නි, හොඳැල්ලේ ඇතින්නි, මිල්ලතේ සරත්චන්ද්‍ර රාජකරුණා මහතාගේ ඇතින්නියන් දෙදෙනා, මිල්ලන්ගොඩ රාජා ඇතුළුව තවත් වයෝවෘද්ධ අලි ඇත්තු කිහිප දෙනෙක් මියගියහ.

ජීවමාන අලි ඇතුන් සොයා ගැනීමට ඇති දුෂ්කරතාව නිසා ග‍්‍රාමීය පෙරහර සංවිධානය කරන ඇතැම් අය විසින් කෘත‍්‍රිමව සාදා සරසන ලද අලි පෙරහරේ රැුගෙන යාමට පටන්ගෙන තිබේ. හීලෑ අලි පරපුර මෙසේ සීග‍්‍රයෙන් අවසන් වුවහොත් වැඩිකල් ගතවීමට පෙර ග‍්‍රාමීය පෙරහරවල පමණක් නොව මහනුවර පෙරහර ඇතුළු අනෙකුත් ඓතිහාසික පෙරහරවල කරඬුව හා දේවාභරණ වැඩමකරවීමට කෘති‍්‍රම අලි ඇතුන් යොදා ගැනීමට සිදුවනු නියතය.

මේ පිළිබඳව රජයේ අවධානය යොමුකර වාර්ෂිකව පෙරහර පවත්වනු ලබන විහාර හා දේවාලවලට මෙන්ම අලි ඇතුන් නඩත්තු කිරීමට පළපුරුද්ද හා සියලූ පහසුකම් ඇති අයට පින්නවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත සතුන් කිහිපදෙනකු ලබාදෙන ලෙසත්, රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කර වෙනත් ආසියාතික රටකින් දළ ඇතුන් කිහිපදෙනකු ගෙන්වා දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ සභාපති නිලංග දෑල දියවඩන නිළමේතුමන් රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් දැනට පින්නවල අලි අනාථාගාරයේ ඇතිවී තිබෙන්නාවූ තදබදය ඇතුළු තවත් ගැටලූ කිහිපයක් නිසා එහි සිටින අතිරික්ත අලි කිහිපදෙනකු සංස්කෘතික කටයුතුවලට පමණක් යොදවා ගතයුතුය යන කොන්දේසියට යටත්ව තෝරාගත් විහාර දේවාලවලට රැුකබලා ගැනීමේ පදනම මත බාරදීමට ආරම්භ කර තිබීම පිළිබඳව සතුටු විය හැකිවන අතර එය හීලෑ අලි ඇතුන්ගේ අඩුව පිරවීමට යම් තරමකින් හෝ ඉවහල් වනු ඇත.